අපි හැමෝටම පුංචි කාලෙ ඉඳන් හීනයක් තියෙනවා. මටත් ඒ වගේ හීනයක් තිබුනා අනිවාර්යෙන්ම කැම්පස් යනවා කියලා. උසස් පෙළ විභාගයෙන් හොඳට සමත් වූ මම කැළණියට තමා ආවෙ. සරසවියට පියමන් කළ මුල්ම දවසේ දහස් ගණනක් ළමයින් ඇවිත් හිටියා. විවිධ වර්ගයේ ළමයි ඒ අතර සිටියත් මගේ ඇස් එකවරම එක තැනක නතර වුණා . ඒ ,
ලස්සන අයිබ්‍රෝස් තියන අලුත උපන් වහු පැටවකගෙ වගේ නිල්වන් ඇස් දෙකකුත් , ඒ ඇස් දෙකේ දීප්තිය වැඩි කරන දිගටි ඇස් පිහාටුත් , හා පැටවකුගෙ වගේ මූණත් මගේ නෙත් අතර පැටලුනේ සංසාර බැදීමකට වගේ . සාමාන්‍යයෙන් හුරුබුහුටි කෙල්ලකට පිහිටන මේ හැම අංගයක්ම පිරිලා තිබුණ ඒ මූණ පුංචි කොල්ලෙක්ගෙ. පුංචි කිව්වට ඉතින් එයත් මගෙ බැජ් එකේ.
සාමාන්‍යයෙන් ෆිල්ම් වල තමයි මෙහෙම අය ඉන්නෙ. ඒත් මේ නම් ඇත්තටම ඉන්න කෙනෙක්. සෙනඟ අතරින් ඒ මුහුණ පෙනුනත් මං එක්ක හිනාවුණ ඒ මූණ දැක්කම මහා ලෝබ කමක් හිතුනා අනේ එයාවම බලන්න තිබුණනම් කියලා. පළවෙනි දවසෙ නිසා බයකුත් තිබුණා. ඒ නිසා කමක් නෑ කැම්පස් එකේනෙ ඉන්නෙ පස්සෙ හමුවුණාම කතා කරලම තමා යන්නෙ කියලා හිතලා ඒ මූණ දිහා තව ටිකක් බලන් ඉඳලා මං යාළුවොත් එක්ක බංකුවකින් වාඩි වුණා.
කැම්පස් ජීවිතේ භයානකම කාලෙ කියලා ගෙදරින් එද්දි හිතං ආපු මුල් දවස් ටික හිතුවට වඩා ගොඩක් ලස්සනට ගෙවිලා යන්න ගත්තා . දින ගණනක් ගෙවිලා ගියත් මට ඒ සුදු මූණ ආයෙ හමුවුණේ නැහැ. මේ අතරෙ කැම්පස් ඇවිත් මාසයක් පමණ ගතවෙද්දි ලොකු අත්දැකීමක් ගන්න පුළුවන් වුණා. ඒ තමයි අපේ පළවෙනි පා ගමන. මේ දවස මගෙ බලාපොරොත්තුවෙ දවස වුණා. අහලා තිබුණ විදියට කැම්පස් එකේ බොහෝ දෙනෙක් මෙයට සම්බන්ධ වෙනවා. ඉතින් අපේ බැජ් එකේ පිරිමි ළමයි අතරෙ හැරි හැරී එබිකම් කර කර මං බැලුවෙ ඒ මුහුණ පේන්න තියේද කියලා. මගේ යාළුවොත් බනිනවා මොකක්ද බන් මේ හැදිලා තියන පිස්සුව කියලා. මං උත්තර දෙන්න කියලා ස්ටාෆ් කැන්ටිම පැත්ත බලද්දිම ,
“අනේ ”
කියලා මට කියවුනේ ඉබේටම වගේ.
“මොකද බන් ඒ ගමන”
“අනේ , ඒ සුදුමූණ , ඒ මූණම තමයි ඒ”
“කෝ බන් කොහෙද, ඒ පැත්තෙ එක කොල්ලෙක්වත් නෑනෙ. ඒ පේළියට එන්නෙ අපේ බැජ් එකේ පොඩි හාමුදුරුවොනේ”.
මටත් නොදැනිම මගේ ඇස් දෙකේ කදුළු පිරිලා . අනේ ඒ අහිංසක මූණ පොඩි හාමුදුරුවන්ගෙද.... මං... මං දැන් මොකද කරන්නෙ. නෑ.... නෑ ඒ මෙයා නෙමෙයි. එයා කොහොමද මෙහෙම වෙන්නෙ බලමුකෝ මට වරදින්න ඇති.කියලා හිත හදාගත්තත් මට පා ගමන යන අතරෙ ත් ඒ මූණ මැවි මැවී පෙනුණා.
පාර්ලිමේන්තුව දෙසට ගිය පා ගමන කදුළු ගෑස් , ජල ප්‍රහාර මැද්දෙ ඉවර වුණා. හිතේ පුංචි බයක් තිබුණත් සීනියර් අක්කලා අපිව බලාගත්තා . මේ සියල්ල ඉවරවෙලා අපි ආයෙත් කැම්පස් එන්න හදද්දි හැන්දෑවෙ 07 පමණ වෙලා. අමාරුවෙන් බසයට නැගගත්තු මට ඇඟ හිරිවැටිලා යන ඒ හිනාව දකින්න පුළුවන් වුණා. ඒත් එක්කම මහා දුකක් හිතේ ඇති පිරුණා. අනේ ඇත්තටම ඒ මෙයාම තමයි. එහෙම හිතුව මම මදක් අතීතෙට ගියා. ඇත්තටම එදා ඒ මුහුණ දකිද්දි පිරිමි ළමයෙක්ගෙ තරම් කොන්ඩෙ තිබුනේ නෑ කියලා කල්පනා වුනේ ඒ වෙලාවෙදි . මොකද පිරිමි ළමයිනුත් කොන්ඩෙ ගොඩක් කොටට කපලා තිබුනු නිසා මට එදා එතරම් තේරුමක් නැති වුණා .
“පොඩි හාමුදුරුවෝ ”.....
මං හිමීට මිමිනුවා. ඒ වචන ඇහිලද මන්දා අර අහිංසක හිනාවෙන්ම මට සංග්‍රහ කළා. මමත් හිනාවෙලා විතරක් තරමක් පසුපසට වුණා. අක්කලා අයියලා දැක්කොත් බනියි කියන දේටත් වඩා මගේ හිත ඇතුලෙන් වේදනා විදින නිසයි එහෙම කළේ .
එදා රාත්‍රියෙ බණ්ඩාරනායක නේවාසිකාගාරයම මහා පාළුවකින් පිරිලා වගේ මට දැනුනේ. එතරම් ළමයි ඉඳලත් මගේ හිතේ පාළුව අවට හැම තැනින්ම මට දැනෙන්න ගත්තා .
“ඒයි වරෙන් බන් බත් කන්න. නිදාගන්න ඕනි”.
මුකුත් නොකියම බත් කටවල් දෙක තුනක් කාපු මට වෙනදා හැදෙන පපුවෙ කැක්කුම හැදුනා. සුපුරුදු පරිදි නදීගෙ සිද්ධාලේප එකෙන් සිද්ධාලේප ටිකක් ගාගෙන මං ඇඳට වැටුණා. දවසම මහන්සි වුණු නිසාදෝ කල්පනා කර කර ඉද්දිම මට නින්ද ගිහින් උදේ ලෙක්චර් යන්න කියලා ඔෂී කතාකරනකම්ම මං නිදි.
මංජුසාව පළමු වසර අපි කරන කළා උළෙල. පා ගමනින් දවස් දෙකකට පස්සෙ වැඩ පටන් ගන්න කියලා ජිම් එකට ගියා. ඉස් ඉස්සෙල්ලාම ආපු දවසෙ නිසාදෝ බැජ් එකේ ගොඩක් පිරිසක් මේ අත්දැකීම ලබාගන්න ඇවිත් හිටියා.
“නංගී , ඇයි උඹලා කොල්ලො වෙනම හාමුදුරුවො වෙනම උඹලා වෙනම ඉන්නෙ. උඹලා ඔක්කොම එකම බැජ් එකේ. හැමෝවම අඳුරගන්නවා ඒකටයි අපි මේවා කරන්නෙ. මේක කැම්පස් එක ගම නෙමෙයි , හාමුදුරුවො එක්කත් කතා කරනවලා ගිහින්. ගෞරවය තියෙන්න ඕනි. ඒත් එයාලත් උඹලගෙ සහෝදරයො වගේ තමයි මේ කැම්පස් එක ඇතුලෙදි හරිද ”.
අක්කා කෙනෙක් එකපාරටම අපි ඉඳපු fටිබල් එක ළඟට ඇවිත් තරමක් සැරෙන් කියවන් ගියා.
අපි කට්ටියක් පිරිමි ළමයි වැඩ කරන පැත්තට ත් මමත් තව දෙතුන් දෙනෙකුත් හාමුදුරුවො ඉන්න පැත්තටත් ගියා සැරසිලි කරන සමනල්ලු අතේ තියාගෙනම.
“ අනේ මටනම් බෑ මේ දේ කරන්න. ඇයි මගෙ හිත මේ තරම් බොළඳ , එයා හාමුදුරුවෝ කෙනෙක්නෙ.”
මං මගේ හිතත් එක්ක අමාරුවෙන් පොර බැදුවා.
“මොකද මේ බයවෙලා වගේ”.
නුහුරු කටහඬක් වුනත් ඒ වචන හදවතට ම කිඳා බැස්සා වගේ.
“පොඩි හාමුදුරුවනේ ”
“ම්ම්ම් මතකද මාව, එදා ආපු පළවෙනි දවසෙ කව්දෝ කෙනෙක් දිහා බලන් ඉන්නවා වගේ බලන් හිටියෙ.”
මට පොළව පලන් යන්න හිතුනා මේ මොන ලැජ්ජාවක් ද කියලා. ඒත් එක්කම මෙයා නම් හරිම කටකාරයෙක් වගේ කියලා හිතුනා.
“අනේ එහෙම නෑ හාමුදුරුවනේ , එනවද සමනල්ලු හදන්න යන්න හාමුදුරුවොත් ”
“ආ.... යමුකෝ , අපිත් මේ කම්මැලි කමේ හිටියෙ.
ටේබල් එකට ගිය අපි එකිනෙකාගෙ විස්තර කතා කළා . පොඩි හාමුදුරුවෝනම් ඇත්තටම හරිම කටකාරයි. මං නම ඇහුවම
“පිපිඤ්ඤසාර” කියලයි කිව්වෙ. අපි හැමෝටම හිනාව නවත්තගන්න බැරි වුණා.
“අනේ පොඩි හාමුදුරුවනේ ඇත්තම නම මොකක් ද ? නැත්නම් අපි මේ නමින්ම තමයි කතා කරන්නෙ ”.
“ම්ම්ම්, මගෙ නම “ධම්මරතන.”
ඊට පස්සෙ අපිත් හාමුදුරුවරුන්ගෙ නම් ගම් විස්තර අහලා අපෙත් කාඞ් කියලා වැඩ ටික කළා.
මෙහෙම කාලයක් ගතවෙද්දි දිනපතා ඒ ඇස් දෙක දකින්න මට අවස්ථාව උදා වුණා. පොඩි හාමුදුරුවො හරිම පින් පාටයි. බුදු දහමට ඉතාම ලැදියි. කතා බහේදි වුනත් විහිළු කරල හිටියත් ගොඩක් ධර්ම කරුණු අපට කියලා දුන්නා.
“සමාවෙලා හදාගන්න මට මගේ හිත
එකම වරක් ඔබේ දෙපා වදින්න දෙන්න”.....
“ආ...ලකීට හොඳට සින්දු කියන්න පුළුවන් කියලා දන්නෙ අදනෙ”.
මං මංජුසාවෙ සින්දු කියලා එද්දි මං ඉස්සරහට ආපු පොඩි හාමුදුරුවෝ කිව්වෙ මගේ හිතේ දාහක් දේවල් සිත්තම් කරමින් ය .
“අනේ ඒක සින්දුවක් විතරක්ම නෙමෙයි මගේ හිතේම තියන දෙයක් ”