තම ලෙයින් ජාතක ව කලලයක් කුසට පැමිණි දින සිට ඇය පරිස්සම් වූයේ කුසේ සිටින්නේ දියණියක්ද පුතකු ද යන්න මැන බලා නොවේ. ඇය ඒ දෙදෙනාගෙන් කවුරුන් හෝ වේවා ඒ ඇයගේ ආදරයේ සංකේතයයි. කෙදිනක හෝ මේ ලොව ජය ගන්නා මිනිසෙක් ය, යන අදහස ඇතිව ඇය තම කළලය ආරක්ෂා කර ගනී. එවන් රැකවරණයක් ලබා දෙන්නා වූ කාන්තාවගේ ගර්භාෂයට නිසි වටිනාකමක් මේ සමාජය ලබාදී තිබේ ද යන්න විමසා බැලිය යුතු වැදගත් කාරණාවකි. ගර්භාෂයක් පිහිටා ඇති කාන්තාව කෙදිනක හෝ තම ලෙයින් බිළිඳකු මෙලොවට ජාතක කරන්නට බලාපොරොත්තුව සිටි. එහෙත් එසේ බලාපොරොත්තුව සිටින ඇයට එය අනිසි අයුරින් දරා ගැනීමට සිදු කරන තත්ත්වයට සමාජය පත්ව ඇත.
ඔසප් චක්‍රය සිදුවන ඕනෑම කාන්තාවක් දරුවකු කුස දැරීමට සුදුසුකම් ලබා ඇත. කණගාටුවට කාරණය වී ඇත්තේ තම ලෙයින් ජාතක කර ශරීරය දෙබෑ කරමින් මෙලොව එළිය දකින්නට දුන් කාන්තාවට පිරිමින් උරුම කර දෙන්නාවූ තත්වයයි. පියකු කවුරුන්දැයි නොදන්නා දරුවකු බිහි කිරීමට මෙම සමාජය තුල කාන්තාවට සිදුව ඇත. ළමා අපචාර, කාන්තා අපචාරයන්ට වැඩි නැඹුරුවක් පවතින මෙරට තුළ ගර්භාෂය හිමි කාන්තාව මුහුණ දිය යුතු අභාග්‍ය සම්පන්නම තත්ත්වයයි. තම ලේ හෝ වෙනකෙකුගේ ලේ හෝ වේවා දූෂණයට ලක් කිරීමට ලාංකීය සමාජය තුල පුරුෂයා පෙළඹී සිටී. ඒ තුළින් පීඩාවට පත් වන්නේ ඇය පමණක් ම ය. මෙවන් සිදුවීම් ඕනෑතරම් මෑතකාලීන ඉතිහාසය තුළ මාධ්‍ය තුළින් අසන්නට දකින්නට අප නෙත්, සවන් පව් කර තිබිණි.